කොරෝනා වෛරසය​ : දරුවන් මානසික බලපෑම්වලින් මුදවා ගන්නේ කෙසේද?

අනාගතය පිළිබඳ හුදෙකලාවක් සහ අවිනිශ්චිතභාවයක් දැනීම තරුණ ළමුන් කෙරෙහි දැඩිව බලපා ඇති බව විශේෂඥයෝ පවසති

කොරෝනා වෛරසය​ : දරුවන් මානසික බලපෑම්වලින් මුදවා ගන්නේ කෙසේද?

ඇය දාහතර හැවිරිදි පාසල් දැරියකි. අපි ඇය එමා ලෙස හඳුන්වමු.

බ්‍රිතාන්‍යයේ සති ගණනාවක් පැවති ලොක්ඩවුන් සීමාවලින් පසු එමා දුෂ්කරතාවකට මුහුණ දී සිටින්නීය.

සිය මිතුරන් සමග කාලය ගත කිරීම, විෂාදය (Depression) පාලනය කර ගැනීමෙහි ලා ඇයට උපකාරී විය. නමුත් මේ වන විට ඇය "හුදෙකලා" වී ඇත.

"මම, මගේ කාමරයට වෙලා ඉන්නවා. ආපහු පාසල් යන දවසක් හෝ යහලුවන් දකින දවසක් ගැන මට හිතා ගන්න බැහැ," යනුවෙන් එමා එංගලන්ත ළමා කොමිසමට පවසා තිබේ.

"මේ නිසා මම ඉතාමත් දැඩි ආතතියකින් (Stress) ඉන්නේ."

මෙය ඇයටම අනන්‍ය වූ තත්ත්වයක් නොවේ.

ලොක්ඩවුන් සීමා සහ පාසල් වසා දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් දරුවන්ට සිදු විය හැකි මානසික බලපෑම් පිළිබඳ විශේෂඥයෝ අනතුරු අඟවති.

කුඩා ළමුන් සහ අවුරුදු 11 ත් 19 ත් අතර වයසේ පසුවන වැඩිහිටි දරුවන් කොරෝනාවෛරසය පිළිබඳ බියෙන් පසුවන බව යුනිසෙෆ් සංවිධානය කළ සමීක්ෂණයකින් පෙනී ගොස් ඇත.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය (Unicef) පවසන පරිදි වසංගතයේ මුල් අදියරවලදී සමීක්ෂණ සඳහා යොදා ගත් දරුවන් සිය පවුලෙන් සහ මිතුරන්ගෙන් හුදෙකලා වී සිටීම පිළිබඳ පසුතැවිල්ලෙන් පසු වී තිබේ.

එමෙන්ම එම දරුවන්, කොරෝනාවෛරසය ආසාදනය වීම සහ ඉන් තමන් මරණයට පත් වනු ඇතැයි යන බියෙන් පසු වී ඇති බවත් යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.

"සමහරවිට පළමු සතියේ එය විනෝදයක් වුනා. මොකද පාසල් යන්න නැති නිසා. ඒත් ඉතාමත් ඉක්මනින් ළමයි කනස්සල්ලට (Anxious) පත් වෙනවා," යනුවෙන් නිරිත දිග ජර්මනියේ ගුරුවරියක් වන උර්සුලා ග්‍රාස් බීබීසී වෙත පැවසීය.

"නිවසේදී, හුදෙකලා වීම කියන ප්‍රශ්නයත් එක්ක ඔවුන්ට හෙට්ටු වෙන්න සිදු වුනා."

පාසල් වසා දැමීම නිසා රටවල් 145 ක දරුවන් බිලියන 1.6 කට (කෝටි 160) බලපෑම් එල්ල වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

ලෝක්ඩවුන් සීමා හමුවේ බාධා එල්ල වී ඇත්තේ දරුවන්ගේ ඉගනීම් කටයුතුවලට පමණක් නොවන බවත් එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

"ගුරුවරු උගන්වන්නේ ගණිතය, භාෂා සහ වෙනත් විෂයන් පමණක් නොවෙයි. සමාජගත වෙන්නේ කොහොමද, වෙනත් අයගේ ගැටලුවක් දෙස ඔවුන්ගේ පැත්තෙන් සිතා බැලීම, අන් අය සමග සෙල්ලම් කරන ආකාරය වගේ දේවල් ඔවුන් ළමුන්ට කියා දෙනවා ," යනුවෙන් උර්සුලා ග්‍රාස් පැවසීය.

හුදෙකලා වීම (Isolate) සහ සිය සගයන්ගෙන් වෙන්ව සිටීම ඔවුහු ඊට හේතු වශයෙන් පෙන්වා දෙති.

හොඳින් සබඳතා පවතින ජර්මනිය වැනි රටක ගුරුවරුන්ට ඇගයීම් (Assignments) අන්තර්ජාලය වෙත 'අප්ලෝඩ්' කළ හැක. දුරකථන සහ ඊමේල් ඔස්සේ දරුවන් සමග සබඳතා පවත්වා ගත හැක.

"නමුත් මුහුණට මුහුණ පවත්වන සබඳතාව ගිලිහෙනවා. ඒක බොහෝ දරුවන්ට විශාල ගැටලුවක්," යනුවෙන් උර්සුලා ග්‍රාස් පෙන්වා දෙයි.

"දින චර්යාවක්, තමන් විශ්වාස කරන වැඩිහිටියන් සමග අදහස් හුවමාරු කර ගැනීමට හැකි ආරක්‍ෂිත ස්ථානයක් සහ මුහුණට මුහුණ තම මිතුරු මිතුරියන් හමු විය හැකි තැනක් පාසල් විසින් ඔවුන්ට සපයනු ලබනවා," යනුවෙන් 'යන්ග් මයින්ඩ්ස්' ශුභ සාධන ආයතනයේ ප්‍රචාරක අධ්‍යක්ෂ ටොම් මැඩර්ස් පැවසීය.

"අප වසංගතයෙන් පිටතට පැමිණෙනවාත් සමග, දරුවන්ට සහාය ලබා දීම අතින් පාසල් ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරාවි," ඔහු කියා සිටියේය.

රටවල් ගණනාවක සිසු සිසුහු පාසල් වෙත යලි පැමිණෙමින් සිටිති. නමුත් පාසල් යලි විවෘත කළ යුත්තේ "ඒ සඳහා ආරක්‍ෂිත වාතාවරණයක් පවතින විට පමණක්" වන බවට ඔහු අනතුරු අඟවයි.

'යහපැවැත්ම සහ ආරක්ෂාව' සමබර කිරීම දුෂ්කර කටයුත්තක් බව පෙනෙන්නට තිබේ.